පෙණහලු තුළට වයිරස් ආසාදනය හේතුවෙන් නියුමෝනියාව ඇති වන්නට පුළුවනි.
එය එසේ වුවද මේ රෝගය ගණනකට නොගැනීම හෝ නිසි පරිදි ප්‍රතිකාර නොලැබීමෙන් එම තත්ත්වය ඔඩු දුවන්නට පුළුවන. එසේම, එය ‘සෙප්සිස්’ දක්වා වුවද වර්ධනය විය හැකිය. අපි දැන් ඒ පිළිබඳ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය පියුෂා ජයවර්ධන මහත්මිය සමඟ සාකච්ඡා කරමු.
සෙප්සිස් රෝග තත්ත්වය යනු කුමක්ද?
ශරීරයට ඇතුළු වන වයිරසයක්, බැක්ටීරියාවක් හෝ දිලීරයක් ශරීරයේ ආසාදනයක් දක්වා වර්ධනය වී අපේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලියට ප්‍රතිවිරුද්ධ අතට ක්‍රියාකිරීමෙන් ‘සෙප්සිස්’ රෝග තත්ත්වය ඇති වෙනවා. ‘සෙප්සිස්’ නම සමහරු එතරම් අසා නොමැති වුවත්, එය මාරාන්තිකයි. සෙප්සිස් තත්ත්වයෙන් රෝහල්ගත වන රෝගීන්ටත් හෘදයාබාධ තත්ත්වයකින් රෝහල් ගත වූ රෝගීන්ට වගේම හදිසි තත්ත්වයක් ලෙස සලකා ප්‍රතිකාර කරනවා. බොහෝවිට දැඩි සත්කාර ඒකකයට යොමු කරනවා.
මෙය මාරාන්තික වන්නේ ඇයි?
ශරීරයේ ප්‍රතිශක්තිකරණය විෂබීජ, වයිරස හෝ බැක්ටීරියාවකට විරුද්ධව ක්‍රියා කරනවා. ඒත් මේ කියන සෙප්සිස් තත්ත්වයේදී ඒවාට විරුද්ධව ක්‍රියාකරන අතරතුරදීම ශරීරයට විරුද්ධවත් ප්‍රතිශක්තිකරණය ක්‍රියාත්මක වෙනවා. මෙය ඉතාම අසාමාන්‍ය තත්ත්වයක්. එහිදී හෘදය, පෙණහලු, වකුගඩු සහ මොළය වැනි ඕනෑම අවයවයක් අකර්මණ්‍ය විය හැකියි. ඒත් සෑම ආසාදිත තත්ත්වයක්ම සෙප්සිස් තත්ත්වය දක්වා වර්ධනය වන්නේ නැහැ. ඒත් එය වර්ධනය වීමේ ප්‍රවණතාවක් පවතිනවා.
සෙප්සිස් හට ගොදුරු විය හැකි පිරිස කවුරුන්ද?
ප්‍රතිශක්තිකරණය අඩු පුද්ගලයන් රෝගයට වැඩිපුර ගොදුරු වෙනවා. කුඩා දරුවන්, ගර්භිණී මවුවරුන්, අවුරුදු 65ට වැඩි වයෝවෘද්ධ තැනැත්තන් සෙප්සිස්වලට ගොදුරු වීමේ අවදානම වැඩි පිරිස විදියට හඳුනාගෙන තිබෙනවා. ඊට අමතරව නිදන්ගත රෝග ලෙස සැලකෙන දියවැඩියාව, වකුගඩු ආබාධත්, පිළිකා සහ ඒඩ්ස් වැනි ප්‍රතිශක්තිකරණය අඩු රෝගීනුත් සෙප්සිස් රෝග අවදානමේ සිටිනවා. මීට අමතරව යම් දරුණු රෝගයකට ගොදුරුව රෝහල්ගත වූ අයටත් කලාතුරකින් මෙය ඇතිවිය හැකියි.
රෝග ලක්ෂණ මොනවාද?
ශරීරයේ යම් ආසාදනයක් සෙප්සිස් රෝගයක් දක්වා වර්ධනය වී දැයි හඳුනා ගැනීමට රෝග ලක්ෂණ තිබෙනවා. SEPSIS ඉංග්‍රීසි අකුරුවල තේරුම එම රෝග ලක්ෂණ විදියට සැලකෙනවා. S – කථා කිරීම අපහැදිලි සහ ව්‍යාකූලත්වයට පත්වීම, E – අධික වෙවුලීම සහ මාංසපේශීවල වේදනාව සහ උණ, P – දවස පුරා මූත්‍රා පිට නොවීම, S – දැඩි ලෙස හුස්ම හිරවීම, I – තමන් මිය යන්නේ යැයි දැනෙන්නට වීම, S – සම පැල්ලම් සහිත වීම හෝ දුර්වර්ණ වීම, ප්‍රධාන ලක්ෂණයි. එම රෝග ලක්ෂණ පවතිනවා නම්, වහාම ප්‍රතිකාර සඳහා යොමු වීම අත්‍යවශ්‍යයි.
රෝගය ඉක්මනින් හඳුනාගැනීම වැදගත් වන්නේ ඇයි?
ලෝකයේ සෑම මරණ පහකින් එකක්ම සිදුවීමට හේතුව සෙප්සිස් තත්ත්වයයි. ඒ අනුව සෑම තත්ත්පර 3කටම එක් අයෙක් සෙප්සිස් නිසා මිය යනවා. මෙය ඉතාම බරපතළ සහ බහුලව ඇතිවන රෝගී තත්ත්වයක් වගට ඒ අනුව කියාපානවා.
එසේම, සෙප්සිස් තත්ත්වය නිසා රජයට විශාල මුදලක් රෝගීන් වෙනුවෙන් දැරීමට සිදුවෙනවා. මූලික අවස්ථාවේදීම රෝගය හඳුනාගත හැකි නම්, එම වියදම, රෝගය නිසා ඇතිවිය හැකි ‘පශ්චාද් සෙප්සිස් සින්ඩ්‍රොම්’ තත්ත්වය වළක්වා ගත හැකියි. විශේෂයෙන්ම රෝගියා සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට විඳීමට සිදුවන නොයෙකුත් මානසික සහ ශාරීරික අපහසුතා වළක්වා ගැනීමට පුළුවන්.
සෙප්සිස් හදිසි තත්ත්වයක් නිසා රෝගියා හඳුනා ගැනීම සහ ඉතාම ඉක්මනින් ප්‍රතිකාර ආරම්භ කළ යුතුයි. ප්‍රතිකාර ප්‍රමාද වන තරමට රෝගියා මරණයට පත්වීමේ හැකියාවත් ඉක්මන් වෙනවා. සෙප්සිස් කම්පන තත්ත්වයේ සිටින රෝගියෙකුට ප්‍රතිජීව ඖෂධ ලබාදීමට ගත වන සෑම පැයක්ම එම රෝගියා මරණාසන්න වීමේ හැකියාව සියයට 10කින් වැඩි කරනවා. යම්හෙයකින් එය පැය දහයක් වුවහොත් මිය යෑමටත් පුළුවන්.
රෝගය හඳුනාගන්නේ කොහොමද?
රෝහල්ගත වූ වහාම, එසේත් නැතිනම් රෝගය හඳුනාගත් පළමු පැයේදීම අනිවාර්යයෙන් කළ යුතු ප්‍රතිකාර කිහිපයක් තිබෙනවා. ආසාදනය හඳුනා ගැනීමට රුධිර පරීක්ෂාව, මූත්‍ර පරීක්ෂාව සහ සෙම පටක වැනි පරීක්ෂණ කරනවා. උදාහරණයක් ලෙස සෙම්ප්‍රතිශ්‍යාව වර්ධනයෙන් නියුමෝනියාවත් පසුව සෙප්සිස් දක්වාත් වර්ධනය විය හැකියිනේ. ඒ සඳහා සෙම පටක පරීක්ෂාවක් කළ යුතුයි. මූත්‍ර ආසාදනයක් නිසා ඇතිවන වකුගඩු ආසාදනයක් සෙප්සිස් දක්වා වර්ධනය වීමට පුළුවන්. එය මූත්‍ර සාම්පල පරීක්ෂාවකින් තහවුරු කර ගැනෙනවා.
ඉරෝෂා දීපානි
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය